අලුත් සිදුවීම්
සති අන්තයේ ගමේ ගිහින් ආ දවසේ පටන් මගෙ ඔළුවේ දුවන්නේ එකම අදහසයි; ඒ හිතේ බලෙන් මාමගෙ ලෙඩ සුවවීමයි. අප්පුහාමී කියන විදිහට ඇඟේ ලෙඩ රෝග හිතේ බලයෙන් සුවකරගන්නට පුළුවන්. නමුත් මට හිතෙන්නේ මේක හැමෝටම කරන්න බෑ - පුළුවන් වුනත්, අප්පුහාමී වගේ කෙනෙකුගෙ උදව් නැතුව බැරුව ඇති. නැත්තම් දොස්තරලා, ඉස්පිරිතාල ඕන නෑ, අපේ රටට - නෑ, මුළු ලෝකෙටම!
මාමගෙ අසනීපේ බරපතළයි. ජීවිතේ නැතිකරන තරමට බරපතළයි. ඒක පවුලේ අනික අයට විතරක් නෙවෙයි දොස්තරටත් දැනුනා. දොස්තරකෙනෙක් හැටියට පරමසිවම්ගේ දක්ශකමත් කැපවීමත් කොයි තරම් විශ්වාස කළත් අපෙ හිතේ සැකයත් බයත් ඒකෙන් අඩුවුනේ නෑ. එදා තිබුන බය අපෙ හිත්වලින් අයින්වුනේ සම්පූර්නෙන්ම වෙනස් හැගීම් ගොන්නකින් ඒ හිඩැස පුරවලයි.
අප්පුහාමී කොයිතරම් බලවත්ද? ඔහුගේ බල මොන මොන ක්ෂේත්ර වල පාවිච්චි කල හැකිද? මේ බල යොදා කරන දේ පාලනය කළ හැකිද? දමනය කළ හැකිද? එසේ කළ හැක්කේ කාටද? අප්පුහාමී ‘හොඳ’ හා ‘නරක’ දකින්නේ අපි දකින විදිහටද නැතිනම් අපිට නොතේරෙන ‘අමුතු’ විදිහකටද? අප්පුහාමී වගේ තව කී දෙනෙක් ඉන්නවද? ඉන්නේ කොහෙද? ඒ අය කරන්නේ මොනවද?... ආචාර්ය උපාදියකට වටිනා තරමේ විසඳා නැති ප්රශ්න අප්පුහාමී ගැන මට හිතාගන්න පුළුවන්! හවස් වරුවේ කන්තෝරු කාමරේට ගිහින් මම මේවා ලියාගත්තා මගෙ දිනපොතේ - අලුත් ප්රශ්න හිතට එන එන හැටියට ලයිස්තුවට එකතුකරන බලාපොරොත්තුවෙන්. මම අහලා තිබුනා හිතේ තියෙන ප්රශ්න කොලේකට පිටපත් කළොත් ඊට පස්සේ ඒවාගෙන් හිතට කරදර අඩුයි කියලා.
නමුත් මේ ප්රශ්න වලට උත්තර තියා උත්තර සොයාගන්න මාර්ගයක්වත් මගේ මොළේට හඳුනාගන්න හැකිවුනේ නෑ.
“මලයට රෑට නින්ද යනවද, මේ දවස්වල?”
බදාදා රෑ එකොලහට විතර සුනිල් අයියා මට ටෙලිෆෝන් කළ වෙලාවේ මම හිටියේ ඉස්තෝප්පුවේ පුටුවක හාන්සි වෙලා. කමලයි සිරිනියි නිදි නිසා මම ටෙලිෆෝන් සීනුවේ සද්දේ හොඳටම අඩුකරලයි තිබුනේ. කාමරේ පාඩම් කරමින් සිටි නිලංත පුතාට සද්දේ නොඇසෙන්න මම මිදුලේ කොනට ගියා අයියගෙ ප්රශ්නෙට උත්තර දෙන්න කලින්.
“මොන නින්දක්ද අයියා! එදා ගෙදර ආපු වෙලාවේ ඉඳන් මට අප්පුහාමිගෙ කතා හිතෙන් අස් කරන්න බෑ. අයියටත් ඒ වගේ…”
“මටත් එහෙමයි… අප්පච්චිටත් එහෙම වුනාට ඒක පිටතට නොපෙන්නා ඉන්න උත්සාහ කරනවා - අම්මා නිසා වෙන්න ඇති”
“මං මේක ගැන හුඟාක් හිතුවා අයියා… අප්පුහාමී ගැනයි, අප්පුහාමියි අපියි අතරේ සම්බන්දෙයි… සේරම ගැන. වෙන එකක් තියා, මම ඒවා ලිස්ට් එකක් හදලා කොල කෑල්ලක ලියාගත්තා! නමුත් කිසිම උත්තරයක්වත් උත්තරයක් සොයාගන්න ක්රමයක්වත් හිතට එන්නෙ නෑ… මේවා ගැන හිතන හැම වෙලාවෙම, මං හිතන හැම දෙයක්ම අප්පුහාමිට දැනෙනවා කියලත් මම දන්නවා… දැන් අපෙ මේ කතාවත් එයා දන්නවා … අහගෙන ඉන්න හිතුවොත්….”
“මං දන්නවා මලයා - මටත් නිදාගන්න බෑ…. මේ කතා කරන්නේ මිදුලේ කොනේ ඉඳන්, අනික් යට නොඇසෙන්න…. මේක ගැන අපි දෙන්නා විතරක් කතා කරලා මදි - මට හිතෙන්නේ…”
“අයියා කියන්නේ මාමට කියන්නද?”
“ම්… මං… මං හිතුවේ අපි දෙන්නා අප්පුහාමිට කතා කරලා බලමුද කියලා…”
මම මේක ගැන ටිකක් හිතුවා.
“අයියා ඊලඟ සතියේ දෙකේ නම් එන්න ලැබෙන්නෙ නෑ - පහුගිය දවස්වල අතපසුවුන වැඩ වගයක් තියෙනවා - අනික පොඩ්ඩෝ දෙන්නටම විභාග…”
“නෑ නෑ … මං කිව්වේ මලයා මෙහෙ ගෙන්න ගන්න නෙවෙයි… මට ටවුමට එන්න තියෙනවා තව දවස් කීපෙකින් - එතකොට කතාකරගත්තොත් ඇති…”
“ඒක හොඳයි…. එතකන් අපි නිදාගන්න බලමු, ටික ටික හරි!”
………………………………..
“ලොකු අප්පච්චී අද ජේත්තුවට ඇඳලා! මාරයි නේ කමිසේ!”
සිරිනී මෙහෙම කිව්වේ සුනිල් අයියා ගෙට ගොඩවෙන වෙලාවේ අයියගෙ උරහිසට අත තියලා. කමලට ඒක ඇල්ලුවේ නෑ - කා ගැනවත් පුද්ගලික දෙයක් කියනවට කමලා කැමති නෑ.
“රිනී…!”
“සොරි ලොකු අප්පච්චී … හැබැයි කමිසේ ඇත්තටම ලස්සනයි” කියාගෙන සිරිනී හිනා වෙවී කුස්සිය පැත්තට ගියා.
“ඇයි නාකි අපිට නරකද හොඳ කමිස?”
අපි හිනාවෙවී තේ මේසෙට ආවේ.
“කොහොමද මාමයි නැන්දයි?
“කිසි ප්රශ්නයක් නෑ නංගී - ම්… මං අද රෑ ඉඳලා ගියාට කමක් නැද්ද? වැඩටික සේරම ඉවර කරන්න බැරිවුනා.”
“අප්පේ…. අහන්න දෙයක් වගේ!”
“අනික… මට හවස ටවුමට යන්නත් ඕන…. සමහරවිට රෑ කෑමට එන්නෙ නෑ…”
“හඃ! කමිසේ!”
සිරිනිට හිනා. අයියා ඒක ගානකට ගත්තෙ නෑ.
“මං හිතුවේ මලයත් එක්ක යන්න!”
මටයි කමලටයි මේක අළුත්. දුවට තවත් හිනා.
“අප්පච්චිටත් මං කමිසයක් මැදලා දෙන්නද?”
“මොකද්ද අයියා පාටියක්ද? පිරිමින්ගෙ විතරක් පාටියක්ද?”
“නෑ නංගී - මට මලයයි තව පොරකුයි එක්ක ගමේ වැඩක් ගැන කතා කරගන්න තියෙනවා. මිනිහා මෙහෙ එක්ක එන්න මම කැමති නෑ”
මට යාන්තමට තේරෙනවා අයියගෙ දහස.
“මේ අර අප්පුහාමිගෙ වැඩේටද?”
“ඔව්”
මම සන්තෝසවුනා මම අපෙ දෙයියට ‘අප්පුහාමී’ කියල නම දාපු එක ගැන. ඕන කෙනෙක් ඉදිරියේ අප්පුහාමී ගැන කතා කරන්න පුළුවන් - කවුරුත් ඇහුවොත් ‘ගමේ මිනිහෙක්’ කිව්වම ආයෙ ප්රශ්න නෑ.
“අප්පුහාමී කෑමට නවතියිද? අපිට බැරිද අයියා මිනිහත් එක්ක කතා කලා ඉවරවෙලා කෑමට ගෙදර එන්න?”
“මෙහෙන් පහට විතර, ඒ කියන්නේ, තව පැය බාගෙකින්, ගියොත් බැරිවෙන එකක් නෑ”
කමලා ඒකට කැමතිවුනා.
“එහෙනං කෑමට ඕගොල්ල එනකම් ඉන්නවා හොඳද?”
“රයිට් - මමත් මුන ටිකක් සෝදගෙන ලෑස්තිවෙනවා - අයියා තව තේ එකක් බොන්න”
………………..
“අද අප්පුහාමී එන්නෙ නෑ මලයා… මං හිතන්නේ අප්පච්චී නැතුව අප්පුහාමිට කතා කරන එක හරි නෑ…. අනික, මලයට ගමේ එන්න බැරිවුනත් අපිට පුළුවන් අප්පුහාමී නුවරදී මුනගැහෙන්න…”
මම අයියත් එක්ක කාරෙකේ නුවර ඇවිත් කෙලින්ම බ්ලූ ස්ටාර් හෝටලේ උඩ තට්ටුවට ගියේ බීර වීදුරුවක් බිබී සාකච්චාව ආරම්බ කරන බලාපොරොත්තුවෙන්. මගදී කිසි දෙයක් නොකිව්වත් අයියගෙ හිතේ තවම මතුනොවූ ප්රශ්නයක් තියෙන බව මට වැටහුනා. ඒ නිසා අප්පුහාමිගෙ නොපැමිනීම මට පුදුමයක් නෙවෙයි.
“ඒකනම් ඇත්ත තමා… හැබැයි අපි දෙන්නා කතාකරගත්තොත් නරකද අප්පුහාමිගෙන් අහන්න ඕන දේ? එදා අපි හම්බවුන වෙලාවේ අප්පුහාමී අපෙ ප්රශ්න එක්ක සෙල්ලම් කරපු හැටි මට මතකයි - ‘පපුවේ අමාරු වලින් බේරෙන්න ජීවිත කාලෙම ව්යායාමත් හොඳ කෑමත්…’ මොන උත්තරයක්ද ඒ? අපිට දැනගන්න ඕනවුනේ මාමට ටක් ගාලා සනිපවුනේ කොහොමද කියලා!”
අයියා ටිකක් කල්පනා කළා.
“අප්පුහාමිට කරන්න පුළුවන් මොනවද? අපිට එයාගෙන් අහගන්න පුළුවන් මොනවද?...”
මම අයියට පෙන්නුවා මම ලියාගෙන තිබුන ලයිස්තුව.
“මේක කියවලා ඊට පස්සේ තව ප්රශ්න තියෙනවානම් ඒවත් ලියාගමු. මං කැමතියි කොපියක් අයියට දෙන්න, ගෙදර ගිහින් මාමට පෙන්නලා තව ඕන ප්රශ්න දාගන්න…”
“මේක ලියලා වේටර්ට කියලා හෝටලේ ඔෆිස් එකෙන් කොපියක් ගමු”
ලයිස්තුව සම්පූර්ණ කරන්න පැය බාගෙකට වැඩිය ගියෙ නෑ. සුමනෙට කියලා කොපියකුත් අරගෙන අපි දෙවෙනි බීර වීදුරුව බොන්න පටන් ගත්තේ.
“මොකද්ද අනික් ටොපික් එක?”
“ඈ?”
“අයියගෙ හිතේ තවත් එකක් තියෙනවා නේද?”
අයියා යන්තම් හිනාවුනා.
“කොහොමද දන්නේ?”
“මේ දැන් කතාකරගත්ත දේ ගෙදරදිත් කරන්න තිබුනා… අප්පුහාමී නොඑනබව අයියා දැනගෙන හිටියා. ඒත් ටවුමට ආවේ, මාත් ඇදගෙන? මං හිතුවා තව මොනවා හරි ඇති කියලා… ආපහු ගාල්ලේ හරි කොළඹ හරි යන්න වත් හිතිලද?”
“නෑ…නෑ… මම අද ඉස්පිරිතාලෙට ගියා…”
මම ගැස්සිලා හිටියා.
“මොකද අයියා අමාරුව? කලක් තිබුන එකක්ද?”
“නෑ… අළුත්… මම ගියේ අර අප්පච්චිගෙ වෝඩ් එකේ රත්නායක මිසී බලන්න…”
අයියා ලැජ්ජාවෙන් පෙලෙන පොඩි එකෙක් වගේ ඇඹරුනා. මට හිනා ගියා, සන්තෝසෙට.
“හලෝ! … හලෝ! අපිටත් හොරෙන්! ඉතින් ඉතින්? හොඳ ලස්සන කෙල්ල… සුමනේ! විස්කි දෙකක්!”
මාමා ඉස්පිරිතාලේ හිටපු දෙවෙනි දවසේ අයියා ඉන්දිරා රත්නායකත් එක්ක කීප සැරයක් කතා කළාලු. යුද්ද කාලේ අග හරියෙදී එයාගෙ මහත්තයා නැතිවෙලා තියෙන්නේ. එකම දරුවා වෛද්ය විද්යාලයේ - ඒ දෙන්නා විතරයි ගෙදර ඉන්නේ, ටෙලිෆෝන් එකෙන් දිගින් දිගට කතා කළාලු. අවුරුදු අටක විතර වෙනසක් තිබුනට….
“බෙස්ට් නිව්ස් අයියා! අනාගතේ ගැන හිතුවද? මාමලාට කිව්වද?”
“යකෝ තවම දවස් කීයද හම්බවෙලා? ………හැබැයි අපිට පොඩි කාලේ වගේ අවුරුදු ගනන් ඉන්නත් බෑ - ඕනෑවට වඩා ඉක්මනට පනින්නත් බෑ….මාස කීපයක් කතාබහ කරන්න ඉන්දිරාගෙ අකමැත්තක් නෑ… මං හිතුවේ උඹට පුළුවන්ද කියලා… අම්මලත් එක්ක ඔව්වා කතා කරන එක අමාරුයි බං…”
“කමලට කිව්වට කමක් නැද්ද?”
“කමක් නෑ … උඹෙ දුවටනම් කියන්න ඕනත් නැතිවෙයි; දැක්ක නේද කමිසෙන් දැනගත්ත හැටි!”
……………….
සති අන්තයේ කමලයි මමයි ආයෙත් ගමේ ගියේ අයියගෙ ආරාධනෙන් - දුව කියපු විදිහට ‘අත්තගෙ ලෙඩ බලන්නයි, අත්තට ලෙඩ දාන්නයි එක සැරේම!’. ගියසැරේ වගේ නෙවෙයි මේ සැරේ අපි කෑම බීම එහෙමත් අරගෙන ගියේ හවස තේ පැන් සංග්රහයක් වත් බලාපොරොත්තුවෙන්. අයියගෙ නර්ස් නෝනා ගැන කතා සේරම කමලට පවරන්න මට පුළුවන් වුනා. කමලගෙන් නැන්දටත් නැන්දගෙන් මාමටත් ප්රවුර්තිය පැතිරෙන්න ඉඩහැරලා අයියයි මමයි අයියගෙ ගෙපල පැත්තේ ගියා - මාමට හොරෙන්. වෙලා ගියොත් ඇලෙන් නාන්න සරම් තුවා එහෙමත්, තුවායෙන් ඔතාගත් අරක්කු බාගෙකුත් මම ගත්තේ කමලා දීපු කට්ලිස් කීපෙකුත් එක්කයි.
“ඉතින් දැන් අයියා ගෙදරක් එහෙම හදන්නද අදහස?”
“ඒවා හිතන්න කල් තියෙනවා මලයා…. නමුත් ගාල්ලේ ගෙදර ලඟදී ගියොත් මේක පටන්ගන්න තමා අදහස”
“හොඳයිනේ… අනූ නංගිට, පුතාලට, අනික් පවුලේ අයට කවද්ද කියන්න හිතාගෙන ඉන්නේ?”
“ඒවට කල් තියෙනවා…. සමහරවිට මාසෙකින් දෙකකින් පුතාලට කියනවා… ඔවු අනූටත් ඒ වෙලාවෙම කියනවා … යමක් සිද්ද වෙනවානම්, මල්ලිලා දෙන්නට කියනවා. මගෙ බලාපොරොත්තුවක් නෑ මල්ලිලාට ඒක වැදගත්වෙයි කියලා… ආයෙ මල්ලිලා මොකටද උඹ ඉන්න එකේ!”
“එහෙම කියලා බෑ අයියා … ඕන ඔට්ටුවක් අනූ නංගී නටාගෙන එයි; මම දන්නවානේ මගෙ කසින් අඩල!”
“නෑ… නෑ… මගෙ කොල්ලෝ දෙන්නත් එයි… ඒත් ඉතින් උන්ට තවම අම්මා අමතකවෙලා නැති එකේ හිතේ මොනවා වැඩකරයිද කියලා අපි කොහොමද දන්නේ?”
“එහෙම කියන්න එපා අයියා… වසන්තා අක්කා අපි කාටවත් අමතකවෙලා නෑ - අමතක වෙන්නෙත් නෑ…. මෙතන වෙන්නේ රිප්ලේස්මන්ට් එකක් නෙවෙයි නේ අයියා - මේක නිව් බිගිනිං එකක්… ඕන ඔට්ටුවක් මාමයි නැන්දයි හොඳටම සන්තෝසවෙයි”
අළුත් ගෙපලේ කොටයක් උඩ වාඩිවෙලා අපි අතීතෙයි අනාගතෙයි සිහිකළා. ඉර රස්නෙට හොඳටම දහඩිය වැටුනැයින් පස්සේ පරන පුරුද්දට ඇලෙන් නෑවා. ගෙනා කෑමත් බීමත් කොස් ගහක් මුල තියලා නාන ගමන් වරින් වර කට්ලිස් එකක් හපලා අරක්කු උගුරකුත් ගත්තා. මට දැනුනේ කාලෙකින් නොදැනුන සන්තෝසයක් - සුනිල් අයියා, ගිනි අව්වේ ඇලේ පිහිල්ලෙන් නෑම, පොඩි අරක්කු උගුරක් - මේ සේරටමත් වැඩිය, ඇල අද්දර පිට්ටෙනියේ පොඩිකාලේ සෙල්ලම් කළහැටි අපි සිහිකළා. අතීතය මතක් කරමින් පරණ සිදුවීම් නැවත අත්දැකීමට වඩා ප්රීතියක් ඒ වෙලාවේ අයියටත් මටත් හිතාගන්නවත් බැරිවුනා. ඇලේ අපි දෙන්නා මිස එන කිසි කෙනෙක් නොසිටිනිසාද කොහෙද වෙලාව පහුවෙනවා අපිට දැනුනෙම නෑ.
අපි ආපහු ගෙදර එනකොට දවල් කෑම වෙලාවටත් කිට්ටුයි. අපි කෙලින්ම කන්තෝරු කාමරේට රිංගලා වීදුරුවයි බෝතලෙයි මේසේ යට තියලා, එලියේ වැලේ තුවා සරම් වේලෙන්න දාලයි මැද සාලේ පැත්තට ආවේ.
මාමයි නැන්දයි කමලත් එක්ක කෑම මේසේ ලඟ වාඩිවෙලා කතාව. නැන්දා ටිකක් අඬලා වගේ. අපි කාමරේට ආපු වහාම මාමා පුටුවෙන් නැගිට්ටා.
“ගිහින් අම්මට වැන්දොත් හොඳයි ලොක්කා!”
මෙහෙම කියලා මාමා කන්තෝරු කාමරේට ගියේ මාත් ඇදගෙන. මාමගෙ ඇස්වල කඳුලු දිලිසෙනවා.
“එකක් දාපන් පුතා වීදුරුවට…කමලා ලොක්කා මෙහාට එවයි විනාඩියෙන්”
වෙනදා වගේ නෙවෙයි - දවල් කෑම පරක්කුයි කියලා නැන්දා කරදරකළේ නෑ. කමලා තව කට්ලිස් කීපයක් ගෙනාවේ “අයියා එනවා” කියලා අපි දෙන්නත් එක්ක හොඳට හිනාවෙලා.
“නැන්දගෙන් ප්රොබ්ලම් නෑ?”
“නැන්දට හරිම සන්තෝසයි”
“මටත් එහෙමයි දුව… අම්මයි පුතයි ටිකක් කතා කරගත්තැයි; දුව මෙතන වාඩිවෙලා ඉන්ට තව විනාඩියක්”
………………………..
එදා හවස අපිට සාකච්චා කරන්න අප්පුහාමිට වඩා බොහොම වටිනා මාතෘකාවක් තිබුනා. අප්පුහාමී ගැන කියවුන එකම දේ ආවේ මාමගෙන්.
“මගුලක් තිබුනොත් අප්පුහාමිලාටත් කතා කරන්ට වෙයිද පුතා?”